සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ අභ්‍යාසය එළඹෙන අප්‍රේල් 18 වන දින

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද ශාන්තිකර දියත් විධානය එක්ව සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise – 2019) එළඹෙන අප්‍රේල් මස 18 වන දින සිට 27 වන දින දක්වා හම්බන්තොට ප්‍රදේශයේ දී ආරම්භ වීමට නියමිතය.

මෙම නාවික අභ්‍යාසය සදහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් හා එක්සත් ජනපද ශාන්තිකර දියත් විධානයට අයත් නිලධාරීන් එක්ව පසුගිය මාර්තු 27 වන දින හම්බන්තොට ප්‍රදේශයේ තොරාගත් ස්ථාන පිළිබද සොයා බැලීමෙන් පසු මාර්තු 28 වන දින දකුණු නාවික ප්‍රදේශභාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර ගේ ප්‍රධානත්වයෙන් දකුණු නාවික විධාන ශ්‍රවණාගාරයේදී ද්ව්පාර්ශිකව සාකච්ඡාවක් පවත්වන ලදී. ඒ සඳහා නාවික හමුදා අධ්‍යක්ෂක නාවික මෙහෙයුම්, කොමදෝරු සංජිව ඩයස් සහ දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු රංජිත් ප්‍රේමරත්න යන නිලධාරින් සහභාගිවන ලදී.

මෙම නාවික අභ්‍යාසය සාර්ථකව පැවැත්විම සඳහා ආඥාපතිතුමා සියළුම නාවික පුද්ගලයින් හට අවශ්‍ය උපදෙස් ලබා දිමට කටයුතු කළ අතර, ඒ සඳහා සිය උපරිම කැපවිම හා දායකත්වය බලාපොරොත්තු වන බව ද එහිදි වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙම සාකච්ඡාවන්හි අවසන් අදියර පසුගිය මාර්තු 31 වන දින නාවික හමුදා අධ්‍යක්ෂක ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිරාජ ආටිගල නිලධාරිතුමාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේ ප්‍රධාන දේශන ශාලාවේදී පවත්වන ලදී. ඒ අනුව සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව නාවික අභ්‍යාසයේ මුලික සාකාච්ජාවන් නිමාවට පත් විය.