පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (අප්‍රේල් 01) අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී පුපුරණ ද්‍රව්‍ය යොදා(ඩයිනමයිට්) මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, ජෙලට්නයිට් 21 ක්, ආරක්‍ෂිත වෙඩි නූල් සහිත විදුලි නොවන ඩෙටනේටර් 22 ක් සහ පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 16.7 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, පසුගිය දින කිහිපය පුරාම නාවික හමුදාව සිදු කළ මෙහෙයුම්වලදි මෙවැනි නීති විරෝධී ධීවර කටයුතු වල නියැලෙන ලද පුද්ගලයින් මෙන්ම පුපුරණ ද්‍රව්‍ය අලෙවි කරනු ලැබූ පුද්ගලයින් විශාල පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ‍ගැනීමට කටයුතු කර ඇත. ඒ අනුව 2019 වර්ෂයේදී පමණක් වොටර්ජෙල් කිලෝග්‍රෑම් 60 ක් පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් ඇති අතර, ඉදිරියේදී ද මෙවැනි නීති විරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.