Jet Ski Championship - Navy Cup 2019 එළඹෙන 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී

නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය මගින් හයවන වරටත් සංවිධානය කරනු ලබන ‘Jet Ski Championship - Navy Cup 2019’ එළඹෙන අප්‍රේල් මස 06 සහ 07 යන දෙදින බේරේ වැවේදී පැවැත්විමට සියළු කටයුතු මේවන විට සුදානම් කර ඇත.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ ජල ක්‍රීඩාවක් වන ජෙට් ස්කී ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම හා අප්‍රේල් උත්සව සමයේදී සංචාරකයින්ගේ වැඩි ආකර්ශනයක් ලබා ගැනීම අරමුණු කරගනිමින් ජෙට් ස්කී ක්‍රිඩාව ව්‍යාප්ත කිරීමේ ප්‍රධාන පාර්ශවකරු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම ශූරතාවලිය සංවිධානය කරනු ලබන අතර, ශ්‍රී ලංකාවේ ජෙට් ස්කී ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා වන එකම ශූරතාවලිය ද මෙය ලෙස හැඳින්විය හැක.

තවද, මෙම තරඟාවලියේදී ජෙට් ස්කී අශ්ව බල 130 සිට 300 දක්වා වූ ‘Slalom’, ‘Drag’සහ ප්‍රවීණයන්ගේ අංශය ආදි වූ තරඟ ඉසව් රැසක් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර, ඒ සඳහා මෙවර ද පසුගිය වසර මෙන් දිවයිනේ නන් දෙසින් ක්‍රීඩකයින් විශාල පිරිසක් සහභාගීවිමට නියමිතව ඇත. එමෙන්ම මෙවර පළමු වරට ජෙට් ස්කී තරඟාවලියේදී කාන්තා ඉසව්වක් ද පැවැත්විමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා විශාල ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ඒ අනුව එම අවස්ථාව ජෙට් ස්කී තරඟාවලයේ සුවිශේෂි ඉසව්වක් වනු ඇත.

මිට අමතරව Rowing, ‘Dragor Boats’, ‘Power Boats’, Kayak යන තරඟ ඉසව් ද පැවැත්විමට නාවික හමුදා අති ධාවනකාරි ජල ක්‍රීඩා සංචිතය විසින් සංවිධානය කර ඇති අතර, මෙම තරඟාවලියේදී තරඟ ඉසව්වලට අමතරව ශ්‍රි ලංකා නාවික හමුදා සාමාජිකයන් විසින් ජල ක්‍රීඩා සංදර්ශනයක් ද පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත

එමෙන්ම, මෙම තරඟාවලිය සඳහා බේරේ වැව පිරිසිදු කිරීම් කර අවට පරිසරය අලංකාරවත් අයුරින් සකස් කිරීමට ද නාවික හමුදාව කටයුතු කර ඇති අතර, මෙම තරඟාවලිය තවත් සුවිශේෂි වන්නේ කොළඹ ප්‍රදේශය ආශ්‍රිත ජෙට් ස්කී තරඟාවලියක් පවත්වන ප්‍රථම අවස්ථාව ලෙස මෙම තරඟාවලිය සනිටුහන්විමයි.