බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 02) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු සංජිව ඩයස් සහ ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් සහභාගිවි සිටියහ.

නෞකාව වරායට පැමිණිමෙන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී වන කොමාණ්ඩර් කෝනර් ඕනේල් බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න හමුවිය. එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

දිගින් මීටර් 133 ක් වන ‘මොන්ට්රොස්’ නෞකාව ටොන් 3610 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 215 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.

ඒ අනුව සංචාරය නිමා කිරීමෙන් අනතුරුව හෙට (අප්‍රේල් 03) වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.