07 වන අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාව සාර්ථකව නිමා වේ

ශ්‍රී ලංකා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණය මගින් 07 වන වරටත් සංවිධානය කරන ලද අසමමිතික යුධ උපක්‍රම පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීම ඊයේ (අප්‍රේල් 02) ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ සහභාගී විය. මෙම පාඨමාලාව පසුගිය ජනවාරි 07 වන දින සිට අප්‍රේල් 02 වන දින දක්වා ත්‍රිකුණාමලය, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථාන පුහුණු පාසලේදී පැවැත්විණි.

ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ආඥාපතිතුමා උත්සව අවස්ථාව අමතමින් තිස් වසරක කුරිරු යුධ ගැටුම් තුලින් අප උගත් පාඩම් හා දැනුම ලෝක සාමය වෙනුවෙන් මිත්‍ර රටවල් අතර බෙදා හදා ගැනීමට ලැබීම මහත් සතුටට කරුණක් බව ප්‍රකාශ කරන ලදී. තවද, සාගරයේ බලය අත්පත් කර ගැනීම සඳහා දියත් කළ සතුරු තර්ජන සාර්ථක ලෙස මැඩපැවත්විමට නාවික හමුදාවට හැකිවු බව වැඩිදුරටත් එතුමන් ප්‍රකාශ කර සිටින ලදී.

මෙම පුහුණු පාඨමාලාව ශ්‍රී ලංකා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණය සහ විශේෂ මෙහෙයුම් බලකාය විසින් ක්‍රියාත්මක කළ අතර, ඒ සඳහා බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නෙදර්ලන්තය සහ පකිස්ථානය යන රටවල නාවික හමුදා සාමාජිකයින් 22 දෙනෙකු සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික පුද්ගලයින් 08 (නිලධාරි 04 සහ නාවිකයින් 04) දෙනෙකු සහභාගි විය.

මාස තුනක කාලසීමාවක් පැවැති මෙම නාවික අභ්‍යාසයේදී එල්ටීටීඊ මුහුදු ත්‍රස්තවාදින්ගේ උපක්‍රම සහ ක්‍රමවේදයන්, අවි පුහුණු, සටන් පුහුණුව, කුඩා කණ්ඩායම් මෙහෙයුම්, කැලෑ සටන් පුහුණුව සහ කුඩා බෝට්ටු මෙහෙයුම්, මුහුදේදී ජිවිතය රැක ගැනීම ආදි වූ පුහුණු අභ්‍යාස රැසක් සිදු කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උ‍පදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් පීයර්, ධජ නිලධාරී නාවික දියත් විධානය රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ, නාවික හමුදා මූලස්ථානයට සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් පිරිසක් ද සහභාගිවි සිටියහ.