රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවට අයත් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ඔෆ් ද සොවියට් යූනියන් ගෝෂ්කෝ’ යන නෞකාව සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 03) කොළඹ වරායට සේන්දු විය. එහිදී, නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

නෞකාව වරායට පැමිණිමෙන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් මිකොලොවිච් ක්රොක්මල් නිලධාරියා අද සන්ධ්‍යාවේ බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමා සහ නාවික හමුදාධිපතිතුමා හමුවිමට නියමිතව ඇත.

දිගින් මීටර් 136 ක් වන නෞකාව ටොන් 5300 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 236 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ මෙන්ම වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.

ඒ අනුව සංචාරය නිමා කිරීමෙන් අනතුරුව හෙට එළඹෙන අප්‍රේල් 06 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.