ගම්පහ ප්‍රදේශයේ ඇළ මාර්ග පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය

ගම්පහ ප්‍රදේශයේ ඇල මාර්ග කිහිපයක් පිරිසිදු කිරීම සඳහා පසුගිය මාර්තු මස 25 වන දින සිට 29 වන දින දක්වා නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් දායකත්වය සපයන ලද අතර, ඒ අනුව, හුනුපිටිය, වනවාසල, වත්තල ප්‍රදේශය ආශ්‍රිත ඇළ මාර්ග ඇති ප්‍රදේශයන් පිරිසිදු කිරීමේ වැඩ කටයුතු සිදු කරන ලදී.

එම ඇළ මාර්ගය අපද්‍රව්‍ය සහ ආක්‍රමණික ජලජ පැලෑටි වලින් අවහිරව තිබූ අතර, එමඟින් ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් මෙන්ම ගංවතුර අවධානමක් ද ඇතිවිය හැකි බව නාවික හමුදාව නිරික්‍ෂණය කර ඇත. ඒ අනුව, කඩිනමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය මඟින් එම ඇළ මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරන ලද අතර, මෙම කර්තව්‍ය සඳහා නාවික පුද්ගලයින් විශාල පිරිසක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

තවද, නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සතුව ශිල්පීය දැනුමැති නාවික පුද්ගලයින් මෙන්ම වි‍ශේෂ යන්ත්‍රෝපකරණ වලින් සමන්විත වන අතර, ඒ තුළින් අපද්‍රව්‍ය සහ ආක්‍රමණික ජලජ පැලෑටි වලින් අවහිරව ඇති ඇළ මාර්ග සහ වැව් පද්ධතින් පිරිසිදු කර අලංකාරවත් අයුරින් සකස් කිරීමට හැකියාව ලැබි ඇත. එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන විසින් සංවිධානය කරනු ලබන මෙවැනි ඇළ මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා ද නාවික හමුදාව සිය දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබන අතර, එමඟින් විනාශයට ලක්වෙමින් තිබෙන ඇළ මාර්ග සහ වැව් පද්ධතින් පිරිසිදු කර මතු පරපුර වෙනුවෙන් සුරක්‍ෂිත කර දිමට නාවික හමුදාව කටයුතු කරමින් සිටි.