‘ඩීඩී-151 අසගිරි’ නෞකාවේ අණදෙන නිලධාරිතුමා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් හමුවෙයි

සුහද සංචාරයක් සඳහා අද (අප්‍රේල් 04) කොළඹ වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-151 අසගිරි’ නෞකාවේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් යෝසිනෝරි සාටෝ අද උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල හමුවිය.

එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධව සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරෙරො ද සහභාගි විය.