නාගදීප පුරාණ රජමහා විහාර පිංකම් මාලාවට නාවික හමුදා දායකත්වය

නාගදීප පුරාණ රජමහා විහාරයේ හිටපු විහාරාධිපති, බ්‍රාහ්මණ වත්තේ ධම්මකිත්ති තිස්ස හිමියන්ගේ ගුණානුස්මරණය සහ වර්තමාන විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවීනාචාර්ය අතිපුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන්ගේ 59 වන ජන්ම දිනය නිමිතිකර ගනිමින් පසුගිය අප්‍රේල් 02 සහ 03 යන දෙදින නාගදීප පුරාණ විහාර පරිශ්‍රයේදී පිංකම් මාලාවක් පැවැත්විණි.

එම පිංකම් මාලාවට සමගාමිව නාගදීප විහාරස්ථානය විසින් පවත්වන ලද කවි බණ ධර්ම දේශණාවට මෙන්ම ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමට සහ පිරිකර පූජාව සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් දායකත්වය සපයන ලද අතර, ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් බත් දන්සැලක් ද සංවිධානය කර තිබූණි.

මෙම පිංකම් මාලාව සඳහා උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, උතුරු නාවික විධානයට අයත් ආයතන හා නෞකාවන්හි අණදෙන නිලධාරින් මෙන්ම උතුරු නාවික විධානයට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් රැසක් සහභාගිවි සිටියහ. තවද, මෙම උතුම් පුණ්‍ය ක්‍රියාව සඳහා දායකත්වය සැපයිම සම්බන්ධයෙන් නාගදීප රජමහා විහාරස්ථානාධිපති විසින් සෙත් පිරිත් සජ්ඣායනයක් සිදු කොට උතුරු නාවික විධානයට මෙන්ම සමස්ථ නාවික හමුදාවට ආශිර්වාද පුද කෙරිණි.