මුහුදේදී රෝගාතුර වූ විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (Maritime Rescue Coordinating Centre) සිදු කරන ලද දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ලිබියාවට අයත් වෙළඳ නෞකාවක් වන කේඑම් වීපා (KM WEIPA) නම් වෙළඳ නෞකාවේ සිටි රෝගාතුර නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (අප්‍රේල් 07) උදෑසන කටයුතු කරන ලදී.

ඉන්දියාවේ හාල්ඩියා වරායේ සිට සිංගප්පුරුවේ සෙන්තෝසා වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ එම නෞකාවේ රෝගාතුර වූ නාවිකයෙකු සිටින බැව් ඊයේ (අප්‍රේල් 06) රාත්‍රියේ 2000 පැයට මඟි නෞකාව විසින් කොළඹ, සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කර ඇති අතර, තොරතුරු ලද විගස දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් රෝගි නාවිකයාව රැගෙන ඒම සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

ඒ අනුව, සංගමන්කන්ද ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 42 ක් නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී එම රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගෙන අද උදෑසන 0400 පැයට රෝගී වූ නාවිකයා නිරුපද්‍රිතව හම්බන්තොට වරාය පරිශ්‍රයට රැගෙන ඒමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව ඔහු වෛද්‍ය ප්‍රථිකාර සඳහා හම්බන්තොට, මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.