ගාල්ල දෙවැට ප්‍රදේශයේ සිමෙන්ති කම්හලක් පිටුපස ඉලුක් ගාලක ඇතිවූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

ගාල්ල දෙවැට ප්‍රදේශයේ සිමෙන්ති කම්හලක් පිටුපස ඉලුක් ගාලක් හදිසියේ ගින්නක් හටගෙන ඇති අතර, එම ගින්න කෙමෙන් කෙමෙන් සිමෙන්ති කම්හල දෙසට ව්‍යාප්ත වන බවට සිමෙන්ති කම්හලේ ආරක්‍ෂක නිලධාරීන් විසින් අද (අප්‍රේල් 07) නාවික හමුදාව වෙත කළ දැනුම් දීමකට අනුව ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂින ආයතනයට අනුයුක්ත ගිනි නිවීමේ කණ්ඩායමක් එම ස්ථානය වෙත යැවීමට කටයුකු කෙරිණි.

ඒඅනුව, නාවික පුද්ගලයින් 07 දෙනෙකු ඇතුළුව ගිනි නිවීමේ රථයක් මෙන්ම වතුර බවුසරයක් එම ගින්න නිවීමේ කටයුතු සඳහා අනුයුක්ත කෙ‍රිණි. එහිදී සිමෙන්ති කම්හලේ සේවකයින් විසින් ඩෝසර් යන්ත්‍ර යොදාගනිමින් අගලක් හාරා ගින්න සිමෙන්ති කම්හල වෙත ව්‍යාප්ත වීම වැලක්විමට කටයුතුකර කරමින් සිටි අතර, නාවික හමුදාව විසින් ව්‍යාප්ත වෙමින් තිබූ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීම‍ට සහාය දක්වන ලදී.