මුහුදේ ගීලි මිය ගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

ත්‍රිකුණාමලය, කොඩ්බේ ධීවර වරාය පරිශ්‍රයේ දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයෙකු සොයා කිමිදුම් මෙහෙයුමක් ඊයේ (අප්‍රේල් 07) ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව ඊයේ රාත්‍රියේ එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

ත්‍රිකුණාමලය, කොඩ්බේ ධීවර වරාය පරිශ්‍රයේදී ධීවර යාත්‍රාවකින් පුද්ගලයෙකු වැටි දියේ ගිලී අතුරුදන් වී ඇති බව ධීවරයන් පිරිසක් විසින් නාවික හමුදාව වෙත සිදු කළ දැනුම් දීමකට අනුව, ක්‍ෂණිකව ක්‍රියාත්මක වු නාවික හමුදාව නැගෙනහිර නාවික විධානය‍ට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කරන ලද අතර, මහත් පරිශ්‍රමයක් දරා දිය යට සැඟව තිබූ එම පුද්ගලයාගේ මෘත දේහය සොයා ගන්නා ලදී .

තවද, එම පුද්ගලයා ත්‍රිකුණාමලය, පළමු පටුම‍ඟේ ධීවර ගම්මානයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, මෘත දේහය පිළිබඳ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා චීන වරාය, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.