ප්‍රීතිපුර, ළදරු නිවාසයේ දරුවන්ගේ සුවදුක් විමසිමට නාවික හමුදා සාමාජිකයින් එක්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ අභිමානවත් 14 වන සංවත්සරය එළඹෙන අප්‍රේල් 21 වන දිනට යෙදී ඇති අතර, එය නිමිති කර ගනිමින් එම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් ඩෙමියන් ප්‍රනාන්දු ඇතුළු නැව් මුළුව විසින් ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.

ඒ අනුව, නෞකාවේ අණදෙන නිලධාරිතුමාගේ මඟපෙන්විම යටතේ නෞකාවේ කාර්ය මණ්ඩලය ඊයේ (අප්‍රේල් 08) ප්‍රීතිපුර, ළදරු නිවාසයේ නේවාසිකව රැඳි සිටින දරුවන්ගේ සුවදුක් විමසීම සඳහා එක්විය. අනතුරුව දරුවන් සඳහා ඉතා පෝෂ්‍යදායී මෙන්ම ප්‍රනීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමටද එහිදී නාවික හමුදා සාමාජිකයින් කටයුතු කරන ලදි.

මෙම ළමා නිවාසයේ දරුවන් 85 දෙනෙකු නේවාසිකව රැඳි සිටින අතර, ඔවුන් සියළුදෙනාම සිය දෙමාපියන්‍‍ගේ ආදරය, සෙනෙහස අවශ්‍යම අවස්ථාවක එම සෙනෙහස අහිමිව ඉතා අසරණව මෙම ළමා නිවාසයේ රැකවරණය යටතේ ජිවත් වන අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ය. එමෙන්ම මොහොතක් හෝ ඔවුන් අසල රැදෙමින් ඔවුන්ගේ මුවඟට සිනහවක් ගෙන ඒමට හැකිවන්නේ නම් එය උතුම් වූ ක්‍රියාවකි.

මෙම කර්තව්‍යය ඉතා උසස් අයුරින් සංවිධානය කර තිබීම සම්බන්ධයෙන් ළමා නිවාසයේ කාර්යය මණ්ඩලය විසින් සිය හෘදයාංගම ස්තූතිය සහ ප්‍රශංසාව අණදෙන නිලධාරි ඇතුළු නෞකාවේ කාර්ය මණ්ඩලයට සහ නාවික හමුදාවට පිරිනමන ලදි.