ශ්‍රී ලංකා නාවික හමුදා නාවිකයින් සිව්දෙනෙකු (04) මුලික ගුවන් යානා එන්ජින් පාඨමාලාව සාර්ථකව නිමා කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා ඉංජිනේරු ශිල්පය සම්බන්ධ ප්‍රධාන පාඨමාලාවක් ලෙස සැලකෙන මූලික ගුවන් යානා එන්ජින් පාඨමාලාව (Aero Engine Basic Course) සඳහා ප්‍රථම වරට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු අංශයේ නාවිකයින් සිව්දෙනෙකු (04) සහභාගී විය. මෙම පාඨමාලාව අවුරුදු දෙකකට ආසන්න කාලයක් ඒකල, ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලෙහි පැවත් වූ අතර, පාඨමාලාව අවසානයේ ත්‍යාග ප්‍රධානෝත්සවයක් ද පවත්වන ලදි.

එහිදී එම පාඨමාලාව සඳහා සහභාගි වූ ගුවන් සහ නාවික හමුදා සාමාජිකයින් 11 දෙනෙකු අතරින් පලමු සහ තුන්වන ස්ථාන හිමි කර ගැනීමට නාවික හමුදා සාමාජිකයින් සමත් විය. ඒ අනුව පලමු ස්ථානය එංජින් කාමර ශිල්පි IV ඕපීටීඑල් ඕපනායක නාවිකයා ද එහි තෙවන ස්ථානය එංජින් කාමර ශිල්පි III එස්පීඑම්ඩී කුමාර යන නාවිකයා ද හිමි කර ගැනීමට සමත් විය.

එමෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත එක්වීමට නියමිත Gas turbine ships සඳහා මෙන්ම යෝජිත නාවික ගුවන් බලඝනය සඳහා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් (ඉංජිනේරු) ගේ උපදෙස් මත මෙම නාවිකයන් අනුයුක්ත කිරීමට අපේක්‍ෂා කරන අතර, ප්‍රථම වරට ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සහභාගිවූ මෙම පාඨමාලාවේදි දැක්වූ දක්ෂතාවයන් ශ්‍රී ලංකා නාවික හමුදාවට කීර්තියක් අත්කර දිමට සමත් වන ලදී.