නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 08) කල්පිටිය, වැල්ල මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 39 සහ 37 වන වියෙහි පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, මසුන් කිලෝග්‍රෑම් 37 ක් සහ මිටර් 150 දිගැති දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.