නාවික හමුදාව සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් එරාවුර්පත්තුහිදි

අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් වන ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනේ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ සම්පුර්ණ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී ඇති අතර, දිවයින පුරා සියළුම දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන් ආවරණය වන පරිදි ග්‍රාමිය මට්ටමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් මහජනතාව සහ දරුවන් හට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළු පැවැත්වීමට කටයුතු කරමින් සිටී.

ඒ අනුව ඊයේ (අප්‍රේල් 09) මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කරන ලද අතර, එහිදී මයිලම්බවේදී, කිතුල්, මාවඩිවේම්බු 01, සිතාන්ඩි, එරාවුර්පත්තු චෙන්කලාඩි, ඉයන්කර්නි, කළුවන්කර්නි සහ කරදියනාරූ යන ප්‍රදේශයන්හි ග්‍රාමීය ප්‍රජාව සහ පාසල් දු දරුවන් දැනුවත් කරන ලදී.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සම්බන්ධ විශේෂ පුහුණුව ලත් ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්, මනෝ විද්‍යා උපදේශන නිලධාරීන් සහ නාවිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් මෙම මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය සහ ප්‍රදේශයේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරී සාමාජිකයින් සිය දායකත්වය ලබා දෙන ලදී. මෙහිදී ප්‍රායෝගික හා න්‍යායත්මක කරුණු ඔස්සේ මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජනතාව මෙන්ම පාසැල් දරු දැරියන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.