රියර් අද්මිරාල් අජිත් සමරසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් අජිත් සමරසිංහ සිය වසර 32 ක නාවික සේවය නිමා කරමින් අද දින (අප්‍රේල් 11) විශ්‍රාම යන ලදී.

එතුමාගේ 55 වන උපන් දිනය ද අද දිනට යෙදී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එතුමා හට උපන් දින සුභපැතුම් එක් කළහ. ඉන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එතුමා හට විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලදී. සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් සමරසිංහ වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන එක් කළහ.

1986 වර්ෂයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 04 වන බඳවා ගැනීමට අයත් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති එතුමා මීට පෙර ගිණිකොන මෙන්ම උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක මෙන්ම නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික (ව්‍යාපෘති සහ සැලසුම්) ආදී විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.