දියේ ගිලී මිය ගිය තරුණයෙකුගේ මෘත දේහයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

අවිස්සාවේල්ල, කැළණි ග‍ඟේ දයිගල ‍තොටුපලේ දියේ ගිලී මිය ගිය තරුණයෙකුගේ මෘත දේහයක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් අද (අප්‍රේල් 13) සමත්ව ඇත.

අවිස්සාවේල්ල කැළණි ග‍ඟේ දයිගල ‍තොටුපලේ දියේ ගිලී තරුණයෙකු අතුරුදන් වී ඇති බව අවිස්සාවේල්ල පොලිසිය විසින් ඊයේ (අප්‍රේල් 12) නාවික හමුදා මුලස්ථානය වෙත සිදු කළ දැනුම් දීමකට අනුව ක්‍ෂණිකව ක්‍රියාත්මක වු නාවික හමුදාව, බටහිර නාවික විධානය‍ට අනුයුක්ත 05 දෙනෙකුගෙන් යුතු නාවික කිමිදුම් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කරන ලදී. ඒ අනුව අද උදෑසන මහත් පරිශ්‍රමයක් දරා දිය යට සැඟව තිබූ එම තරුණයාගේ මෘත දේහය සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.

මිය ගිය තරුණයා අවිස්සාවේල්ල, තල්දුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ක් වන පිරිමි අයෙකු වන අතර, මෘත දේහය පිළිබඳ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා අවිස්සාවේල්ල පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.