කොරල්පර විනාශ කළ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 16) කල්ලාරු මුහුදු ප්‍රදේශයේදී කොරල් පර විනාශ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව වයඹ නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ධීවර කටයුතු සිදු කරන මුවාවෙන් ධිවර දැල් යොදා ගනිමින් කොරල්පර කඩමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක් සහ ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධිවර පරික්‍ෂක වෙත භාර දීමට නියමිතය.

සාගර කලාපය තුල ධීවර කටයුතුවල නිරතවන සමහර පුද්ගලයින් විසින් ධීවර කටයුතු සිදු කරන මුවාවෙන් මෙවැනි නීති විරෝධි ක්‍රියාවන් සිදු කරනු ලබන අතර, එමඟින් කොරල් පර සහ ගල් පර මෙන්ම මත්ස්‍ය අභිජනන ස්ථාන බහුල වශයෙන් විනාශ විමට ලක්වෙන බව නාවික හමුදාව නිරික්‍ෂණය කර ඇත. එබැවින් මෙම නීති විරෝධී ක්‍රියාකරකම් මැඩලීමට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ යාත්‍රා දිවා රාත්‍රි නිරන්තර මුර සංචාරක කටයුතු වල යොදවා ඇත. ඒ තුළින් පසුගිය වකවානුව තුළදී ධීවර කටයුතු මුවාවෙන් සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධී ක්‍රියාකාරකම් පාලනය කර ගැනීමට නාවික හමුදාවට හැකි වි ඇත.