කැස්බෑවන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (අප්‍රේල් 16) පලෙයිතිව් දූපතට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී කැස්බෑවන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි සැක කටයුතු ධීවර යාත්‍රාවක් නිරික්‍ෂණය කර ඇති අතර, ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම ධීවර යාත්‍රාව පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී ධීවරයින් විසින් අල්ලන ලද ජීවී කැස්බෑවන් දෙදෙනෙකු (02) සොයා ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 23 සහ 18 වන වියෙහි පසුවන යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, කිමිදුම් උපකරණ සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, පසුගිය පෙබරවාරි 24 වන දින නාවික හමුදා පුද්ගලයින් උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ඉන්දිය ධීවරයින් විසින් අල්ලන ලද ජීවී කැස්බෑවෙකු නැවත නිරුපද්‍රිතව සාගරය වෙත මුදා හැරීමට ද නාවික හමුදාව කටයුතු කරන ලදී.

එමෙන්ම, මෙම වඳවි යන කැස්බෑවන් ආරක්‍ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘති දියත් කරගෙන යනු ලබන අතර, ඒ අනුව හඳුනාගනු ලැබූ ආරක්‍ෂිත වෙරළ තීරයන් වලදී සංරක්‍ෂණය කරනු ලැබු කැස්බෑ පැටවුන් රැසක් සාගරයට මුදා හැරිමට නාවික හමුදාව කටයුතු කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව සාගර සම්පත සුරැකීම පිණිස නිරන්තර මෙහෙයුම් සිදු කරමින් සිටි.