පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ එයාර් කොමදෝරු මුස්ටාෆා අන්වර් ඇතුළු නියෝජිත පිරිස අද (අප්‍රේල් 17) නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වීය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවක නිරත වන පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ එයාර් කොමදෝරු මුස්ටාෆා අන්වර් ගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස අද (අප්‍රේල් 17) නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදී එම නියෝජිතයින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ හමුවි සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහ එයාර් කොමදෝරු මුස්ටාෆා අන්වර් ඇතුළු පිරිස සමඟ සුහද සාකච්ඡාවක් පැවැති අතර, එහිදී නියෝජිතයින් පිරිස විසින් සිය අධ්‍යයන කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් දැනුවත් කරන ලදී. තවද, ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් විසින් පුහුණු කටයුතු සම්බන්ධයෙන් පකිස්තානු නියෝජිත පිරිස දැනුවත් කිරීමට ද කටයුතු කරන ලද අතර, එහිදී විශේෂ කරුණු කිහිපයක් සාකච්ඡාවට බඳුන් විය.

මෙම සාකච්ඡාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල, රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශණ, අධ්‍යක්‍ෂක ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් නන්දන ජයරත්න, අධ්‍යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජිව ඩයස් සහ ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් සජාඩ් අලි ඇතුළු නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.