ඇමරිකානු නාවික නෞකා ‘මිලිනොකට්’ සහ ‘ස්පෘඅන්ස්’ නෞකාවන් හම්බන්තොට වරායට සේන්දු වෙයි

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳව වාර්ෂිකව පවත්වනු ලබන නාවික අභ්‍යාසයට (Cooperation Afloat Readiness and Training Exercise - 2019) සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘මිලිනොකට්’ සහ ‘ස්පෘඅන්ස්’ නෞකාවන් අද (අප්‍රේල් 18) හම්බන්තොට වරායට සේන්දු විය.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු සංජිව ඩයස් සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ලුතිනන් කොමාණ්ඩර් බ්‍රයන් පේජ් නිලධාරියා ද සහභාගිවී සිටියහ.

දිගින් මීටර් 103 ක් වන ‘මිලිනොකට්’ නෞකාව ටොන් 2362 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, ‘ස්පෘඅන්ස්’ නෞකාව දිගින් මීටර් 155.3 ක් සහ ‍ටොන් 9580 ක ධාරිතාවයකින් යුක්ත වේ. ඒ අනුව මෙම නාවික අභ්‍යාසය මුහුද ආශ්‍රිත සහ වෙරළාශ්‍රිත වශයෙන් අධියර දෙකක් යටතේ සිදු කරනු ලබන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ සහ සමුදුර නෞකාවන් එක්වීමට නියමිතව ඇත.

සාගරික ආරක්ෂක හැකියාවන් හා මෙහෙයුම් දායකත්වය වර්ධනය කර ගැනීම මෙම නාවික අභ්‍යාසයේ ප්‍රධානතම අරමුණ වන අතර, මෙහිදී කුඩා යාත්‍රා හැසිරවීම, කිමිදුම් ක්‍රියාකාරකම්, ත්‍රස්ත විරෝධී ආරක්ෂක මෙහෙයුම්, සමාජ සත්කාරක සේවාවන්, ක්‍රීඩා සහ සමාජීය ක්‍රියාකාරකම් තුළින් පාර්ශවකරුවන් අතර ස‌බඳතා වර්ධනය කර ගැනීම අපේක්‍ෂා කෙරේ.