ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය සිය 25 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය පසුගිය අප්‍රේල් මස 20 වන දින සිය අභිමනාවත් 25 වන සංවත්සරය සමරයි. එයට සමගාමීව එම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් සංජීව පෙරේරා ඇතුළු නැව් මුළුව විසින් පසුගිය දින කිහිපය තුළදී සර්ව ආගමික වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, බද්දේගම හල්පාතොට ලුර්දු දේවමාතා කතෝලික දේවස්ථානයේ සහ ගිංතොට ජුම්මා මුස්ලිම් පල්ලියේ ආශිර්වාද දේව මෙහෙයන් මෙන්ම ආයතන පරිශ්‍රයේදී ආශිර්වාද බෝධි පුජාමය පිංකමක් ද පැවැත්විමට කටයුතු යොදා තිබුණි. එමෙන්ම පසුගිය අප්‍රේල් මස 20 වන දින නාවික හමුදා සම්ප්‍රදායානුකූලව අණදෙන නිලධාරි විසින් අංශ පිරික්සුම සිදු කර නැව් මුළුව ඇමතීමට කටයුතු කරන ලද අතර, පුහුණු වන නාවික පුද්ගලයින් හට තම පුහුණු කටයුතු නිවැරදිව මෙන්ම උනන්දුවෙන් යුතුව සිදු කරන ලෙසට උපදෙස් ලබා දෙන ලදී.

අනතුරුව අණදෙන නිලධාරිගේ ප්‍රධානත්වයෙන් මංගල භෝජන සංග්‍රහය ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පොදු භෝජනාගාරයේදි පැවැත්වීමෙන් පසුව සංවත්සර දින වැඩසටහන් මාලාව නිමාවට පත් විය.