නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගත් හෙරෝයින් තොගය සහ ධීවර යාත්‍රාව ගොඩබිමට රැගෙන එයි

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාවට අනුයුක්ත නාවික පුද්ගලයින් ඊයේ (අප්‍රේල් 22) සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුර අත්අඩංගුවට ගත් හෙරෝයින් තොගය සහ පුද්ගලයින් පස්දෙනා අද (අප්‍රේල් 23) උදෑසන ත්‍රිකුණාමලය නාවික වරාය වෙත රැගෙන එනු ලැබීය.

නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කරන බවට රාජ්‍ය බුද්ධි සේවාව සහ ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව සිදු කළ දැනුම් දිමකට අනුව ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ඒ සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදී. ඒ අනුව ඊශාන දිග මුහුදේ සිදු කළ නිරික්‍ෂණ මෙහෙයුම අතරතුර හෙරෝයින් කිලෝග්‍රෑම් 274 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි බහුදින ධීවර යාත්‍රාවක් සමඟ ශ්‍රී ලාංකීක පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය ‍මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන ඒමට උත්සහ කර ඇති බවට සැක පළ කෙරේ. අත්අඩංගුට ගත් පුද්ගලයින් වයස අවුරුදු 31, 39, 40, 44 සහ 45 වන වියෙහි පසුවන මදුරන්කුලිය සහ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් යාත්‍රාව, පුද්ගලයින් සහ හෙරෝයින් තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණය සහ ඉදිරි නීතිමය කටයුතු පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යාංශය මඟින් සිදු කිරීමට නියමිතය.