පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (අප්‍රේල් 23) වන්කාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 29, 31, 35 සහ 37 වන වියෙහි පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 250 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, අල්ලන ලද මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා වන්කාලේ, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරුණි.