ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් සහ පුපුරණ ද්‍රව්‍ය සොයා නාවික හමුදා මෙහෙයුම්

පසුගිය අප්‍රේල් 21 වන දින මුස්ලිම් අන්තවාදී සංවිධානයක් විසින් සිදුකළ මරාගෙන මැරෙන මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සියළුම ආරක්‍ෂක අංශ විසින් මෙම සංවිධානයට අයත් සාමාජිකයින් සහ එම සංවිධානයේ ඇති ආයුද සහ පුපුරණ ද්‍රව්‍ය සොයා විශේෂ මෙහෙයුම් දියත් කර ඇති අතර, පසුගිය දින කිහිපය තුලදී නාවික හමුදාව විසින් සිදුකළ සොදිසි මෙහෙයුම් වලදී ත්‍රස්ත ක්‍රියාවන්වල නිරත වූ බවට සැක කරන පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදාභාරයට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ නාවික හමුදා සුනඛ සංචිතය එක්ව එරක්කන්ඩි නගරය සහ වෙරළ තීරය ආශ්‍රිතව පසුගිය අප්‍රේල් 27 වන දින සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු සොයා ගෙන ඇත. එරක්කන්ඩි නගරය ආශ්‍රිතව සිදු කළ සෝදිසි මෙහෙයුමේදී වෝටර්ජෙල් කූරු 16 ක්, විද්‍යුත් නොවන ඩෙටනේටර් 160 ක්, අඩි 12.5 දිගැති ආරක්‍ෂිත වෙඩි නුල් 60 ක් සහ යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එරක්කන්ඩි වෙරළ තීරය ආශ්‍රිතව සිදු කළ මෙහෙයුමේදි වෝටර්ජෙල් කූරු 48 ක්, විද්‍යුත් නොවන ඩෙටනේටර් 55 ක්, අඩි 14.5 දිගැති ආරක්‍ෂිත වෙඩි නුල් 34 ක් සොයා ගැනීමට සමත්ව ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයා, යතුරු පැදිය සහ වෝටර්ජෙල් කූරු ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

පසුගිය අප්‍රේල් 28 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ජින්නපුරම් ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුර වෝටර්ජේල් ටියූබ් 01, විද්‍යුත් නොවන ඩෙටනේටර් 05 ක් සහ ආරක‍්‍ෂිත වෙඩි නූලක් සොයා ගන්නා ලද අතර, එම පුපුරණ ද්‍රව්‍ය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පුල්මුඩේ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

ගිණිකොණ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් විසින් පසුගිය අප්‍රේල් 28 වන දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී පානම, පොතුවිල් ප්‍රදේශයේ හැඩඔය පාලම අසල ඇති අවන්හලක් සොදිසි කර ඇති අතර, එහිදී විද්‍යුත් නොවන ඩෙටනේටර් 05 ක්, ආරක‍්‍ෂිත වෙඩි නූල් මීටර් 53 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන පොතුවිල්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් විසින් පසුගිය (අප්‍රේල් 29) සිදුකල වටලා පරික්‍ෂවකදී වැලිසර ප්‍රදේශයේ නිවසක සහ මාබෝල ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ඇගලුම් හල් වලින් හමුදා කැලෑ නිළ ඇඳුමට සමාන සම්පූර්ණයෙන් මසා නිමකල කබා 140 ක් සහ අඩක් මසා නිමකල කබා 14 ක් සොයාගෙන ඇත. එම ඇඟළුම් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා වත්තල, පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදී.

රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ඇති කරනු ලබන පුද්ගලයින් අවි ආයුද සහ පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි තවදුරටත් සිදුකරමින් පවතී.