රියර් අද්මිරාල් ජගත් රණසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ සිය වසර 35 ක නාවික සේවය නිමා කරමින් අද දින (මැයි 03) විශ්‍රාම යන ලදී.

එතුමාගේ 55 වන උපන් දිනය ද අද දිනට යෙදී ඇති අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එතුමා හට උපන් දින සුභපැතුම් එක් කළහ. ඉන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එතුමා හට විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලදී. සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් රණසිංහ වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන එක් කළහ.

1984 වර්ෂයේදී 12 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් රණසිංහ මීට පෙර නැගෙනහිර ප්‍රදේශභාර ආඥාපති, දකුණු ප්‍රදේශභාර ආඥාපති සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති ආදී විවිධ නිල තල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.