නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (මැයි 06) චෙම්මාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අයත් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ චෙම්මාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කිරීම හේතුවෙන් මෙම පුද්ගලයින් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත. එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ නීති විරෝධී දැල් 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් මදුරන්කුලිය, මිගමුව සහ පල්ලිපාසල්වාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන්, යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, නීති විරෝධී දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.