මුහුදේ අනතුරට පත් ධීවරයින් දහදෙනෙකු (10) නාවික හමුදාව විසින් බේරා ගනියි

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 11) දකුණු මුහුදේදී අනතුරට පත්ව සිටි ධීවරයින් දහදෙනෙකු (10) බේරා ගැනීමට සමත් විය.

ඒ අනුව දකුණු නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී සිය ධීවර යාත්‍රාව පෙරලිම හේතුවෙන් අනතුරට පත්ව සිටි ධීවරයින් දහදෙනෙකු මෙලෙස බේරා ගෙන ඇත.

මෙම එක්දින ධීවර යාත්‍රාව අද උදෑසන හික්කඩුව ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ‍ගොස් ඇති අතර, මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලද විගස නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත මුර සංචාරයේ නියුතුව සිටි නාවික හමුදා යාත්‍රාව එම ධීවරයින් මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා යෙදවීමට කටයුතු කෙරිණි. ඒ අනුව ගාල්ල ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 20 ක් දුරකදී අදාල ධීවරයින් නාවික හමුදා යාත්‍රාව මඟින් සොයා ගැනීමට සමත් විය. එහිදී ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ නාවිකයින් දැඩි පරිශ්‍රමයක් යොදා එම ධිවරයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන ලදි.

ඉන් අනතුරුව නාවික හමුදා යාත්‍රාව මඟින් එම ධීවරයින් නිරුපද්‍රිත ලෙස ගාල්ල වරාය පරිශ්‍රය වෙත රැගෙන එමෙන් පසු එම ධීවරයින් ඔවුන්ගේ ඥාතීන් වෙත භාර දීමට කටයුතු කෙරිණි.