ශ්‍රීලංකා නාවික හමුදා නෞකා පන්තියට එක්වූ ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ ‍නෞකාව කොළඹ වරායට

ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ (USCGC Sherman) නෞකාව අද (මැයි 12) කොළඹ වරායට සේන්දු වෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ නෞකාව අද උදෑසන 1000 පැයට පමණ කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් (මාලිමා) රෝහිත අබේසිංහ කටයුතු කරනු ලබන අතර, නිලධාරීන් 22 දෙනෙකුගෙන් සහ නාවිකයින් 111 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ අධ්‍යක්ෂක ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වී සිටියහ. තවද, නාවික හමුදා මූලස්ථානය සහ බටහිර නාවික විධානය නි‍යෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එම අවස්ථාව සඳහා එක් වී සිටියහ.

ඉන් අනතුරුව, නාවික හමුදාධිපතිතුමා නෞකාවේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරතවූ අතර, එහිදී නෞකාවේ ක්‍රියාකාරීත්වය, මෙහෙයුම් සූදානම සහ සැකැස්ම පිළිබඳව නාවික හමුදාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය. මෙම නෞකාව නුදුරේදීම සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් අධිකාරියට පත් කිරීමට නියමිතව ඇත

එමෙන්ම, පසුගිය වසරේ අගෝස්තු 27 වන දින මෙම නෞකාව නිල වශයෙන් නාවික හමුදාවට භාර දීමේ උත්සවය හවායි දුපතේ හොනොලුලු හිදි සිදු කෙරුණි. එහිදී ඇමෙරිකානු වෙරළාරක්‍ෂක බලකායේ අත්පත්කර ගැනීම් අංශයේ සහකාර ආඥාපති සහ ප්‍රධාන නිලධාරි, රියර් අද්මිරාල් හේකොක් මහතා විසින් ශ්‍රී ලංකා හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හට නෞකාව නිල වශයෙන් භාර දෙන ලදී.

ඒ අනුව මෙම නෞකාව මිටර් 115 ක දිගින් යුතු යුද ශිල්පීය අවි ආයුධ වලින් සමන්විත නෞකාවක් වන අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ භාවිතා වන විශාලතම නෞකාව බවට පත්වේ. ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා මෙම නෞකාව යොදා ගැනීමට අපේක්‍ෂා කර ඇත.