තලෛයිමන්නාරම වැලි පර අතර සිරවි අනතුරට පත් ධීවර යාත්‍රාවක් අළුත්වැඩියාව සඳහා නාවික හමුදා සහාය

තලෛමන්නාරමට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ වැලි පර අතර සිරවි අනතුරටපත් ධීවර යාත්‍රාවක් අළුත්වැඩියාව සඳහා අද (මැයි 12) නාවික හමුදා සහාය ලබා දෙන ලදි.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ඉංජිනේරු අංශයට සහ කිමිදුම් අංශයට අයත් නාවිකයින් පිරිසක් විසින් අද තලෛයිමන්නරම ප්‍රදේශයේ වැලි පර 04 සහ 05 අතර මුහුදු ප්‍රදේශයේ වැලිප‍රයේ ගැටීම හේතුවෙන් අනතුරට පත් වූ ධීවර යාත්‍රාවක් මෙලෙස අළුත්වැඩියා කිරීමට කටයුතු කර ඇත.

‘මල්ෂානී 2’ නැමැති මෙම බහුදින ධීවර යාත්‍රාව පසුගිය මැයි 09 වන දින කන්දක්කුලිය ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ‍ගොස් ඇති අතර, මෙම අනතුර සම්බන්ධයෙන් තොරතුරු ලද විගස නාවික හමුදා යාත්‍රාවක් සමඟ අළුත්වැඩියා කිරීමේ සහන කණ්ඩායමක් ඒ සඳහා යෙදවීමට කටයුතු කෙරිණි. ඒ අනුව නාවික හමුදා සහන කණ්ඩායම දැඩි පරිශ්‍රමයක් යොදා එම ධීවර යාත්‍රාව අළුත්වැඩියා කිරීමට කටයුතු කරන ලදි.

තවද, ශ්‍රී ලංකාව වටා ඇති සාගරය ප්‍රයෝජනයට ගනු ලබන නාවික හා ධිවර ප්‍රජාවට සිදුවන ඕනෑම උපද්‍රවයකදී සහාය ලබා දීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.