ශ්‍රී චන්ද්‍රසේකර විශේෂ පාසලේ දරුවන්ගේ සුවදුක් විමසිමට නාවික හමුදා සාමාජිකයින් එක්වෙයි

එළඹෙන මැයි 18 දිනට යෙදෙන වෙසක් පුන් ‍පොහෝය දින නිමිති කර ගනිමින් ඊයේ (මැයි 12) නාවික හමුදා සාමාජිකයින් විසින් මොරටුව, ශ්‍රී චන්ද්‍රසේකර විශේෂ පාසලේ දරුවන්ගේ සුවදුක් විමසිමට එක් විය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් මහේෂ් ද සිල්වා ගේ උපදෙස් මත ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මොරටුව, ශ්‍රී චන්ද්‍රසේකර විශේෂ පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ සුවදුක් විමසීම සඳහා එක්විය. ප්‍රථමයෙන්ම නාවික පුද්ගලයින් විසින් පාසල් පරිශ්‍රයේ ශ්‍රමදානයක් පැවැත්වූ අතර, අනතුරුව දරුවන් සඳහා ඉතා පෝෂ්‍යදායී මෙන්ම ප්‍රනීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමට නාවික හමුදා සාමාජිකයින් කටයුතු කරන ලදි.

මෙම කර්තව්‍යය ඉතා උසස් අයුරින් සංවිධානය කර තිබීම සම්බන්ධයෙන් පාසලේ කාර්යය මණ්ඩලය විසින් සිය හෘදයාංගම ස්තූතිය සහ ප්‍රශංසාව අණදෙන නිලධාරි ඇතුළු ආයතනයේ කාර්ය මණ්ඩලයට සහ නාවික හමුදාවට පිරිනමන ලදි.