ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව සිංගප්පුරුවට ලඟා වෙයි

ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට (International Maritime Defence Exhibition – IMDEX) සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව පසුගිය මැයි 12 වන දින සිංගප්පුරුවේ චැංගී වරායට ලඟා විය.

ඒ අනුව පසුගිය මැයි 06 වන දින ත්‍රිකුණාමලය වරායෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව පසුගිය මැයි 12 වන දින සිංගප්පුරුවේ චැංගී වරායට ලඟා වූ අතර, සිංගප්පුරු නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව ‘සමුදුර’ නෞකාව උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී. එම අවස්ථාව සඳහා සිංගප්පුරුවේ වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්, ඕ.එල් අමීරජ්වාද් මහතා ඇතුළු මහ‍ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් සහභාගී විය.

මෙම ‍ ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනය සඳහා රටවල් 33 ක නාවික හමුදාවන් සහභාගීවන අතර, ඒ සඳහා නාවික හමුදාධිපතිවරුන් 16 දෙනෙකු මෙන්ම වෙරළාරක්‍ෂක නියෝජිත ආයතන 06 කට අයත් නිලධාරින් ද සහභාගිවිමට නියමිතව ඇත. එහිදී මුලික සංඥා හුවමාරුව, ධජ එසවීමේ ක්‍රියාකාරකම්, ගිනි නිවිම හා ආපදා කළමණාකරණය, හදිසි අවස්තාවකදි ස්ථානගතවීමේ ක්‍රියාකාරකම්, නෞකාවන් අතර ආරක්‍ෂිතව දුර පවත්වාගෙන යාමේ ක්‍රියාකාරකම් සහ නෞකාවක් ඇදගෙන යාම යන නාවික අභ්‍යාසයන් වලට ද නෞකාවේ කාර්ය මණ්ඩලය සහභාගී වීමට නියමිතය.

ඒ අනුව එළඹෙන මැයි 17 වන දින මෙම ජාත්‍යන්තර නාවික ප්‍රදර්ශනය සහ අභ්‍යාසය සාර්ථක ලෙස නිමා කරමින් සමුදුර නෞකාව ශ්‍රී ලංකාව බලා යාත්‍රා කිරීමට නියමිතව ඇත.