කේරළ ගංජා කිලෝග්‍රෑම් 76.6 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (මැයි 15) උතුරු මුහුදේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 76.6 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද මාමුනේ, චැම්පියන්පත්තු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදි මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම කේරළ ගංජා තොගය ඩිංගි යාත්‍රාවක් මඟින් මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සහ කර ඇති බවට සැක පළ කෙරේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

නාවික හමුදාව සාගර කලාපයේ ආරක්‍ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන මුර සංචාර වැඩිකිරීම් සහ නිරන්තර සොදිසි කිරීම් හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගැනිමට හැකිවූ අතර, ඉදිරියේදී ද මෙවැනි නීති විරෝධි කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා සාගර කලාපයේ නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි.