නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් අලුත්වැඩියා කළ ඌරුමලෛයි ශාන්ත ලෝරන්ස් රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ ගොඩනැගිල්ල සිසු අයිතියට

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් තලෙයිමන්නාරම, ඌරුමලෛයි ශාන්ත ලෝරන්ස් රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ අලුත්වැඩියා කරන ලද රැස්විම් ශාලා ගොඩනැගිල්ල 2019 මැයි 16 වන දින සිසු අයිතියට පවරන ලදි.

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රදේශයේ පූජකවරුන්, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්න ආයතතනයේ විධායක නිලධාරි, ලුතිනන් කොමාණ්ඩර් බීජී ධම්මික ඇතුළු ආයතනයේ නිලධාරින් පිරිසක්, විද්‍යාලීය විදුහල්පති, විද්‍යාල ගුරුභවතුන් සහ සිසුන් මෙන්ම දෙමාපියන් පිරිසක් ද සහභාගීවි සිටියහ.

මෙම ගොඩනැගිල්ලේ අළුත්වැඩියා කටයුතු ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි ලක්ෂ්මි කැන්ටර් මැතිණියගේ මුල්‍යම දායකත්වය මත උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ ගේ මඟපෙන්විම යටතේ නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ ශ්‍රම දායකත්වය මත අලුත්වැඩියා කරන ලදි.

තවද, මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කිරීම සම්බන්ධයෙන් විද්‍යාලයේ විදුහල්පති මෙන්ම දෙමාපියන් ද සිය ප්‍රශංසාව නාවික හමුදාව වෙත පිරිනමන ලද අතර, නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙවැනි ප්‍රජා සත්කාරක වැඩසටහන් තුලින් ජාතීන් අතර සංහිදියාව ගොඩනැගිම සඳහා මහත් පිටිවහලක් වන බව විශ්වාස කෙරේ.