වෙසක් පුර පස‍ලොස්වක පොහොය දිනය නිමිත්තෙන් සුමදුර ධර්ම දේශනාවක් සහ දානමය පුණ්‍යකර්මයක් නාවික හමුදා මූලස්ථානයේදී

අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පරිණිර්වානය සිදුවූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනය නිමිති කරගෙන නාවික හමුදා මුලස්ථානයේදී සුමදුර ධර්ම දේශනාවක් සහ දානමය පුණ්‍යකර්මයක් අද (මැයි 18) පැවැත්විය.

ඒ අනුව, 2563 වැනි සම්බුද්ධජයන්තිය නිමිතිකොට ගනිමින් ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ට මුල්තැන දෙමින් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ‍ඒකකය විසින් ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු නැව්මුළුව හා එක්ව සංවිධානය කරන ලද ධර්ම දේශනාව සඳහා වැඩමවා වදාල පොල්පිති මූකලානේ පඤ්ඤාසිරි හිමියන් විසින් පැමිණ සිට සැදැහැවත් පිරිස පංච ශීලයේ පිහිටුවා බුදුරජානන් වහන්සේගේ තෙමගුල සිහිකරමින් සුමදුර ධර්ම දේශනාවක් පවත්වන ලදි. ඉන් අනතුරුව මහා සංඝරත්නය විසිපස් (25) නමක් විෂයෙහි දහවල් දානය පිළිගැන්වීමට කටයුතු කළහ. මහා සංඝරත්නය විසින් පැමිණ සිටි සියළුදෙනා හටත් මියගිය හා ආභාධිත රණ විරවන් හටත් පිංපෙත් අනුමෝදන් කළහ.

මෙම පුණ්‍ය කර්මය සඳහා සැදැහැ සිතින් යුතුව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් මහේෂ් ද සිල්වා ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවික පුද්ගලයින් සහ සේවා වනිතා ඒකකයේ ගරු සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.