නාවික හමුදා රණවිරු සැමරුම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වැලිසර දී

ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමීව සටනේදී දිවි පිදූ නාවික රණවිරුවන් සිහිපත් කිරීම සහ පුෂ්පෝපහාර දැක්වීම අද (මැයි 19) උදෑසන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් වැලිසර පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සිදු කෙරුණි.

එහිදී, නාවික හමුදාධිපතිතුමන් විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා සිය ආචාරය පුද කරන ලදී. ඉන් අනතුරුව විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පවත්වා අප මාතෘ භූමියේ නිදහස හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කරන ලද නාවික රණවිරුවන්ට ආචාරය පුද කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිරාජ ආටිගල, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, නාවික හමුදා මූලස්ථානයේ ‍ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ බටහිර නාවික විධානය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් මෙන්ම නාවිකයන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

තවද, මීට අමතරව නැගෙනහිර නාවික විධානයේ නාවික රණවිරු සැමරුම් උලෙල නැගෙනහිර විධාන ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, මහනුවර මයිලපිටිය රණවිරු ස්මාරකය අභියස පැවති රණවිරු සැමරුම් උලෙල සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සෙසු නිලයන් ද, සටනේදී මියගිය සහ අතුරුදහන් වූ රණවිරු පවුල් වල සාමාජික සාමාජිකාවන් මෙන්ම සිවිල් ජනතාව විශාල පිරිසක් ද සහභාගී විය.