30 වන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව උතුරු මුහුදේ ශ්‍රීලංනානෞ සයුරළ නෞකාවේදී පවත්වයි

ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර වාර්ෂිකව පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව 2019 මැයි 24 වන දින කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේදී පවත්වන ලදී.

උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වය දරන ලද ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට උතුරු මැද නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල, අධ්‍යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජිව ඩයස්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු සුරේෂ් ද සිල්වා සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂ‍ ජෙනරාල්, කොමදෝරු වයිඑම්ජීබී ජයතිලක ඇතුලු නිලධාරීන් රැසක් සහභාගි විය. ඉන්දීය නියෝජිතයින් පිරිසට තමිල්නාඩු කළාපය භාර ධජ නිලධාරී රියර් අද්මිරාල් කේජේ කුමාර් ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් රැසක් සහ ශ්‍රී ලංකා‍වේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ ද සහභාගීවි සිටියහ.

මෙම වාර්ෂික සමුළුව, දෙරටෙහි නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකායන් අතර අවබෝධය වර්ධනය කර ගැනීම තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම වෙනුවෙන් පවත්වනු ලබයි.

30 වන වරටත් පවත්වන ලද මෙම සමුළුවේදී, ඉන්දියානු බලධාරීන් විසින් ඉන්දියානු කලාපයේ මුර සංචාරය වැඩි දියුණු කිරීම, නීති විරෝධී ක්‍රියාවන් අවම කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන් විසින් ඉන්දීය ධීවරයින් දැනුවත් කිරීම, කලාපය තුළ ජාවාරම් කටයුතු අවම කිරීම සඳහා දෙපාර්ශවයන් අතර නිසි සන්නිවේදන ජාලයක් ස්ථාපිත කිරීම, රටවල් දෙක අතර තොරතුරු හුවමාරු යන්ත්‍රණයක් හඳුන්වා දීම ආදි විශේෂිත කරුණු කිහිපයක් සාකාච්ජා කරන ලදි. එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.