වෙළඳ නෞකාවක රෝගීව සිටි පුද්ගලයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සහය වෙයි.

“කේප් වයලට්” නැමැති වෙළඳ නෞකාවේ සිටි උදරාබාදයකින් පීඩාවට පත් රෝගියෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (ජූනි 04) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව, “කේප් වයලට්” වෙළඳ නෞකාව හම්බන්තොට සිට නාවික සැතපුම් 7.3 දුරින් තිබියදී එම නෞකාවේ සිටි පිලිපීන ජාතිකයෙකු රෝගාතුර වී ඇති බවට සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් සිදුකළ දැනුම්දීමකට අනුව වහාම ක්‍රියාත්මක වු නාවික හමුදාව එම නෞකාව වෙත වෛද්‍ය කණ්ඩායමක් සමඟ වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත්කර යැවිමට කටයුතු කරන ලදී.

කඩිනමින් එම නෞකාව වෙත ලඟාවූ යාත්‍රාව ‍“කේප් වයලට්” වෙළඳ නෞකාවේ සිටි රෝගියාව වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අණතුරුව ප්‍රථමාධාර පහසුකම් ලබා දෙමින් නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන විත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කෙරිණි.