පී 626 නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නමින් අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 626 නෞකාව අද (ජුනි 06) කොළඹ වරාය පරිශ්‍රයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නමින් අධිකාරියට පත් කෙරිණි.

එම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය ප්‍රධාන අන්‍යාගමික පූජකවරුන්, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, රුවන් විජයවර්ධන මහතා, ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්, ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති වශයෙන් කටයුතු කරන ලබන ඇලීනා ටැප්ලිස් මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් සුමංගල ඩයස් යන සම්භාවනීය අමුත්තන් සහභාගී වී සිටියහ.

තවද, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් සහ අධ්‍යක්‍ෂකවරුන් මෙන්ම නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු නාවික පුද්ගලයින් විශාල පිරිසක් එක් වී සිටියහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අභිනව නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් රෝහිත අබේසිංහ වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කරන ලදී. එහිදී, කපිතාන් අබේසිංහ විසින් සන්නස් පත්‍රය උත්සව සභාව වෙත ප්‍රකාශයට පත් කරමින්, නෞකාවේ අණසක ගෞරව බහුමානයෙන් යුතුව භාර ගන්නා බවට ද ප්‍රතිඥා දෙන ලදී. ඉන් පසුව, ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නමින් අධිකාරියට පත් කරන ලද මෙම ගැඹුරු මුහුදු නීරීක්ෂණ නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම, සර්ව ආගමික ආශිර්වාදය මධ්‍යයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරිණි. තවද, ඔවුන් නෞකාවේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත වූ අතර, නාවික හමුදාධිපතිතුමා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව එම පිරිස දැනුවත් කරන ලදී.

ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකායට අයත්ව පැවති, මෙම නෞකාව පසුගිය වසරේ අගෝස්තු 27 වන දින හවායි දුපතේ හොනොලුලු හිදි ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙම නෞකාව දිගින් මීටර් 115 ක් වන අතර, පළලින් මීටර් 13 කින් යුක්ත වේ. පැයට මුහුදු සැතපුම් 28 ක වේගයකින් යාත්‍රා කළ හැකි එය ටොන් 3302 ක ධාරිතාවයකින් සමන්විත වේ. මෙම නෞකාවේ නිලධාරීන් 22 දෙනෙකු ඇතුළු 111 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.

මෙම නෞකාව නවීනතම අවි ආයුධ, සන්නිවේදන උපකරණ සහ වෙනත් මෙහෙයුම් පද්ධති වලින් සමන්විත නෞකාවක් වන අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ භාවිතා වන විශාලතම නෞකාව බවට පත්වේ. ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා මෙම නෞකාව යොදා ගැනීමට අපේක්‍ෂා කර ඇත.