බීඩිකොළ කි‍ලෝග්‍රෑම් 287.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 07) සිලාවතුර, හුනෙස් නගර් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 287.3 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිලාවතුර, හුනෙස් නගර් වෙරළ තීරයේ සිදු කළ පාමුර සංචාරයක් අතරතුර මෙම බීඩී කොළ කිලෝග්‍රෑම් 287.3 ක් සමඟ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ‍බීඩිකොළ තොගය ලොරියක් මඟින් ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබීයදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 17 සහ 46 ක් වන සිලාවතුර, වෙප්පම්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය, පුද්ගලයින් සහ ලොරිය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, 2019 ජුනි 05 වන දින උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පලෙයිතිව් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදි බීඩි කොළ කිලෝග්‍රෑම් 60.7 සොයා ගැනීමට ද සමත් විය.