නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් හත්දෙනෙකු (07) නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 08) ත්‍රිකුණාමලය මලේයිමුණ්ඩාල මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් හත්දෙනෙකු (07) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව නැගනෙහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවිම හේතුවෙන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 27 ත් අතර පසුවන ඊච්ලම්පත්තු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් ධීවර දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, තහනම් ධීවර දැල සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහාකර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.