හෙරොයින් මිලිග්‍රෑම් 48 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (ජුනි 09) ගාල්ල ධීවර වරාය දොරටුව අසලදි හෙරොයින් මිලිග්‍රෑම් 48 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ගාල්ල ධීවර වරායේ ආරක්‍ෂක රාජකාරි යොදවා සිටි දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් වරාය දොරටුව අසලදි සැක කටයුතු පුද්ගලයෙකු පරික්‍ෂාවට ලක්කර ඇති අතර, එහිදී ඔහු සතුව තිබි හෙරොයින් මිලිග්‍රෑම් 48 ක් මෙලෙස සොයා ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 36 ක් වන ගාල්ල, කනම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගාල්ල, වරාය පොලිසිය වෙත භාර දිමට කටයුතු කරන ලදි.

එමෙන්ම 2019 ජුනි 08 වන දින උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ තලෙයිමන්නාරම පොලිසියට අනුයුක්ත නිලධාරින් එක්ව තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 40 ක් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගැනීමට ද සමත්වන ලදි.