ගංවතුර ආපදාවට පෙර නාවික හමුදාව සුදානම්

ඉදරියේ දි ඇති විය හැකි ගංවතුර අවධානම වලක්වා ගැනිමේ අරමුණින් ගාල්ල, වක්වැල්ල පාලමෙහි සිරවී තිබූ ගස්කොලං සහ කුණු රොඩු ගංවතුර ආපදාවකට පෙර ඉවත් කිරීමට අද (ජුනි 10) නාවික හමුදාව කටයුතු කරන ලදී.

මේ දිනවල විටින් විට ඇද හැලෙන වර්ෂාව ඉදිරි දින කිහිපය තුල තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති අතර, ඒ අනුව, ගිං ගඟ හරහා වැටී ඇති වක්වැල්ල පාලමේහි විශාල උණ පඳුරු, ගස්කොලං හා අපද්‍රව්‍ය සිරවීමෙන් ගඟ දෙපස නිවාසවල ජිවත්වන ජනතාවට ඉදිරියේදී ඇති විය හැකි ගං වතුර අවදානමට පිළියමක් වශයෙන් ආපදාවට පෙර එම අපද්‍රව්‍ය කඩිනමින් ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීම සඳහා දකුණු නාවික ප්‍රදේශ භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් ගේ උපදෙස් මත අද දින ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයට අනුයුක්ත සහන කණ්ඩායමක් අනුයුක්ත කරන ලදී. ඒ අනුව මහත් පරිශ්‍රමයකින් එම අපද්‍රව්‍ය ඉවත් කර ජලය බැස යන පරිදි යථාතත්වයට පත් කිරීමට ඔවුන් සමත්වන ලදී.

තවද, මේ දිනවල ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ගං වතුර අවදානමට ලක්විය හැකි ප්‍රදේශ ආවර්ණය වන පරිදි සියළුම නාවික විධානයන් තුළ නාවික හමුදා සහන කණ්ඩායම් සූදානම් කර ඇති අතර, මේ වන විට ගාල්ල ප්‍රදේශයේ නෙලුව, අකුරැස්ස සහ තවලම ප්‍රදේශයේ නාවික සහන කණ්ඩායමක් අනුයුක්ත කර ඇත.