ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් පවත්වන ලද ඉංග්‍රිසි භාෂා පුහුණු පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින් පවත්වන ලද ඉංග්‍රිසි භාෂා පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීම 2019 ජුනි 11 වන දින කොළඹ, ප්‍රදිපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැත්විණි.

එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් හොලි මහතා සහභාගී විය. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු, රියර් අද්මිරාල් නන්දන ජයරත්න, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂ‍ ජෙනරාල්, කොමදෝරු වයිඑම්ජීබී ජයතිලක, ආගමන විගමන දෙපාර්තමෙන්තුවට සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින් මෙන්ම ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලයට අනුයුක්ත නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගිවි සිටියහ.

මෙම පාඨමාලාව කොළඹ, ප්‍රදිපාගාර අවන්හල් පරිශ්‍රයේදී පැවැති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් 05 දෙනෙකු, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේනතුවට අනුයුක්ත නිලධාරින් 05 දෙනෙකු සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේනතුවට අනුයුක්ත නිලධාරින් 10 දෙනෙකු සහභාගි විය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම පුහුණු පාඨමාලාවේ මුල්‍යමය දායකත්වය ලබා දෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඒ සඳහා අවශ්‍ය බහුවිධි උපකරණ මෙන්ම සියළු ඉගෙනුම් උපකරණ ලබා දීමට කටයුතු කරන ලදි.

සතිඅන්ත 10 ක කාලසීමාවක් පැවැති මෙම පුහුණු පාඨමාලාව තුලින් රාජකාරිමය අවස්ථාවන්හිදී ඉංග්‍රිසි භාෂවෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව වර්ධනය කිරීම මෙන්ම රාජකාරිය ඉටු කිරීම සඳහා ඉංග්‍රිසි භාෂාව අවශ්‍ය අවස්ථාවන්හිදී ඉංග්‍රිසි භාෂා හැකියාව ප්‍රයෝජනයට ගැනීම අපේක්‍ෂා කෙරේ. මෙම පාඨමාලාවට සමගාමිව ඉංග්‍රිසි භාෂා පුහුණු පාඨමාලාවන් හැදැරු ආගමන විගමන දෙපාර්තමෙන්තුවට සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරින් 20 දෙනෙකු හටද මෙහිදි සහතිකපත් ප්‍රදානය කිරීම සිදු කෙරුණි.