කොළඹ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා දායකත්වය

ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ නාවික හමුදා ඇළ මාර්ග පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය මඟින් 2019 ජුනි 13 වන දින කොළඹ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීම සිදු කරන ලදී.

ඒ අනුව මීගමුව කොළඔ ප්‍රධාන මාර්ගයට යාබද වත්තල කළුඇල ඇල මාර්ගය අපද්‍රව්‍ය සහ ආක්‍රමනික ජලජ පැලෑටි වලින් අවහිරව තිබූ අතර, එමඟින් ගංවතුර අවධානමක් ඇතිවිය හැකි බව ද නාවික හමුදාව නිරික්‍ෂණය කර ඇත. ඒ අනුව, කඩිනමින් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව එම ඇල මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරන ලද අතර, මෙම කර්තව්‍ය සඳහා නාවික පුද්ගලයින් 21 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවිමට නාවික හමුදාව කටයුතු කර ඇත.

අපද්‍රව්‍ය සහ ආක්‍රමනික ජලජ පැලෑටි වලින් අවහිරව ඇති ඇළ මාර්ග සහ වැව් පද්ධතින් පිරිසිදු කර අලංකාරවත් අයුරින් සහ ප්‍රයෝජනයට ගත හැකි පරිදි සකස් කිරීමට නාවික හමුදාව කටයුතු කරන අතර, ඒ සඳහාම වෙන්වු විශේෂ ඒකකයක් නාවික හමුදාව තුළ ස්ථාපිත කර ඇත

තවද, මේ දිනවල ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත සියළුම නාවික විධානයන් තුළ ගං වතුර අවදානමට ලක්විය හැකි ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික සහන කණ්ඩායම් යොදවා පාලම්, ගඟවල් සහ ඇලවල් වල අපද්‍රව්‍ය කඩිනමින් ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාම සැලැස්වීමට මේවන විට වැඩසටහන් ආරම්භ කර ඇත. එමෙන්ම, හදිසි ගංවතුර ආපදා තත්වයකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇත.