නාවික හමුදාව තුවාල වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේදී තුවාල වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (ජුනි 14) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

ඒ අනුව මිගමුව, ධීවර වරායෙන් 2019 ජුනි 08 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ජනිත් පුතා 02’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු තුවාලවි සිටින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී. ඒ අනුව, ගාල්ල ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 33 ක් පමණ වූ දුරකදි මුහුදේ රළු ස්වභාවය ද නොතකමින් රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව රෝගියා හට මුලික ප්‍රථමාධාර ලබා දෙමින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. ඒ අනුව, ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කරන ලදී.

තවද, ශ්‍රී ලංකාව වටා ඇති සාගරය ප්‍රයෝජනයට ගනු ලබන නාවික හා ධිවර ප්‍රජාවට සිදුවන ඕනෑම ආපදාවකදී සෙවිමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කර ආපදාවට පත් පුද්ගලයින් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව දායක වන අතර, මෙවැනි රෝගී ධීවරයින් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය අවශ්‍ය වූ විට ලබා දිමට නාවික හමුදාව ඉදිරියේදීත් කටයුතු කරනු ලබයි.