ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) ත්‍රිකුණාමලයේදී ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ එක්සත් ජනපද නාවික හමුදාව එක්ව ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලා (Joint Combined Exchange Training) අභ්‍යාසය 2019 ජුනි 13 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආරම්භ කරන ලදී.

එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් තුසිත දමින්ද සහභාගි වූ අතර, 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමුහයේ සහ විශේෂ යාත්‍රා බලඝණයේ නිලධාරින් සහ නාවිකයින් මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ 19 වන විශේෂ බලකා කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

මෙම පුහුණු වැඩසටහන සඳහා 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමුහයේ නාවික පුද්ගලයින් 12 දෙනෙකු සහ විශේෂ යාත්‍රා බලඝණයේ නාවික පුද්ගලයින් 24 දෙනෙකු ඇතුළුව නාවික පුද්ගලයින් 32 දෙනෙකු සහභාගි වන අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ 19 වන විශේෂ බලකායේ සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙම පාඨමාලාව මෙහෙයවනු ලබයි.

මෙම පාඨමාලාව තුළින් පුහුණුව හා ආධාරක අවශ්‍යතා සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය අවබෝධය සහ එකඟතාවය ලබා ගැනීමට නාවික පුද්ගලයින් හට හැකියාව ලැබෙන අතර, එය සති 03 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පවත්වනු ලබයි. මෙම පුහුණු අභ්‍යාසයේදි මානව හිමිකම්, භූමි යුද නීතිය, උපායශීලී සටන් අනතුරු ආරක්ෂණය, ඉලක්කයට වෙඩි තැබිම, මුහුදු සැපයුම් මාර්ග අවහිර කිරීම, හමුදාමය තිරණ ගැනීම, වෘත්තීය නිපුණතා සංවර්ධනය කිරීම මෙන්ම එක්සත් ජනපද නාවික හමුදා සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් අතර දැනුම හුවමාරු කර ගැනීම ප්‍රධාන අරමුණු ලෙස හැදින්විය හැක. මෙම පාඨමාලාව ජූලි 05 වන දිනෙන් අවසන් කිරීමට නියමිතය.