නාවික ශ්‍රමයෙන් ප්‍රතිසංස්කරණය කළ කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රථම දේව මෙහෙය පවත්වයි

නාවික ශ්‍රමයෙන් ප්‍රතිසංස්කරණය කළ කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී 2019 ජූනි 12 කොළඹ අගරදගුරු, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රදානත්වයෙන් ප්‍රථම දේව මෙහෙය පවත්වන ලදි.

ඒ අනුව පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරු දින ත්‍රස්ථ ප්‍රහාරය හේතුවෙන් විශාල ලෙස හානියට පත් වු කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අළුත්වැඩියා කිරීම නාවික හමුදාව භාර ගැනීමෙන් පසු නාවික හමුදා ඉංජිනේරුවන්ගේ හා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දායකත්වයෙන් ඉතා උසස් අන්දමකින් සහ අලංකාරවත් ලෙස කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන ලදි. මෙම ප්‍රතිසංස්කරණ කටයුත්ත සඳහා අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ පුර්ණ අධික්‍ෂණය සහ ආශිර්වාදය නොමැදව ලැබුණි. එමෙන්ම මෙම සත්ක්‍රීයාව සඳහා නන්දෙසින් විවිධ උපකාර ලැබුනු අතර, මෙහිදී ඇමරිකාවේ රිසෝල් මැරීන් කිමිදුම් සමාගමේ හිමිකරු වන ජෝසප් ඊ ෆැරල් මහතා විසින් ස්වකීය කැමැත්තෙන් ඇමරිකානු ඩොලර් 60,000.00 ක මුදලක් පරිත්‍යාග කිරීම ඉතාමත් සුවිශේෂී කරුණක් වේ. තවද මෙහි ඉදි කිරීම් කටයුතු සඳහා ගෘහ නිර්මාණ ශිල්පීන් වශයෙන් කටයුතු කළ මනෝඡ් ද කෲස් සහ පැතුම් මාගල්ල යන මහත්වරුන්ගෙන් ලැබුනු දායකත්වය ද මෙහි ඉදිකිරීම් අලංකාරවත්ව නිම කර ගැනීම සඳහා පිටිවහලක් විය.

තවද, කච්චතිව් දුපතේ පිහිටි දේවස්ථානය නිර්මාණය කල නාවික ගෘහ නිර්මාණ ශිල්පියා විසින් මෙම දෙව්මැදුරේ අළුත්වැඩියා කටයුතු කිරීම සඳහා ලබා දුන් තාක්‍ෂණික උපදෙස් මත මෙම දෙව්මැදුරේ අළුත්වැඩියා කිරීමේ කටයුතු සිදු කරන ලද අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත නාවික පුද්ගලයින් දිවා රාත්‍රි අඛණ්ඩව සිය ශ්‍රමය වැයකරමින් පිළිසකර කටයුතු නිම කිරීමට සිය දායකත්වය සපයන ලදි. ඒ අනුව දේවස්ථානය උසස් මෙන්ම අලංකාරවත් අයුරින් ප්‍රතිසංස්කරණය කර කිතුනු බැතිමතුන් හට වන්දනාමාන කිරීමට අවස්ථාව උදා කර දීමට නාවික හමුදාවට හැකි විය.

මෙම අවස්ථාව සඳහා කථානායක, දේශබන්දු කරු ජයසුරිය මැතිතුමා, අමාත්‍යවරුන්, හිටපු නාවික හමුදාධිපතිවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාධිපති, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු, ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, නාවිකයින් මෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි නිලධාරින් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.