ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය අධිකාරියට පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බළඝනය අද (ජුනි 22) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය” ලෙස අධිකාරියට පත් කිරීම සහ ජනාධිපති වර්ණ පිරිනැමිම සිදු කෙරුණි.

නාවික හමුදාවේ සම්ප්‍රදායානුකූලව නෞකාවක් අධිකාරියට පත්කිරීම යනුවෙන් අදහස් කෙරෙනුයේ එම නෞකාව සක්‍රීයව යුධ කටයුතු සදහා යෙදවීමයි. ඒ අනුව නාවික හමුදාවේ ප්‍රමුඛතම ප්‍රහාරක යාත්‍රා බළඝනය වන 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පිටුදැකීමේ මානුෂිය මෙහෙයුමට සක්‍රීයව දායක වීමත්, සාගර කලාපයේ ආරක්‍ෂාව වෙනුවෙන් සිදු කරනු ලබන නිරන්තර මෙහෙවරත් සැලකිල්ලට ගනිමින් මෙම බළඝනය අධිකාරියට පත් කිරීම සිදුකරනු ලැබීය.

එමෙන්ම ධෛර්යමත් ලෙස ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමේදී නාවික හමුදාවේ ප්‍රමුඛතම ප්‍රහාරක බළඝනය ලෙස 4 වන වේග ප්‍රහරක යාත්‍රා සමූහය ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ බලය තහවුරු කිරීම උදෙසා සිදුකල ජව සම්පන්න මෙහෙයුම් සහ “රාජකාරියට උපරිම කැපවීම සහ දේශය වෙනුවෙන් උපරිම දායකත්වය” යන කරුණු සැලකිල්ලට ගනිමින් ත්‍රස්තවාදය පරාජය කර වසර 10 ක් සපිරෙන මෙම වසරේදී නාවික හමුදාවේ එකම ප්‍රහාරක බළඝනය ත්‍රිවිධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අධිකාරියට පත්කිරීමට සමගාමීව 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය වෙත ජනාධිපති වර්ණ පිරිනැමිමට ද කටයුතු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ ඇතුළු නාවික හමුදා අධ්‍යක්‍ෂකවරුන්, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් රැසක් සහභාගීවි සිටියහ.